Sunday, April 28, 2019

ගෝලීයකරණය

                                  වර්තමාන සමාජීය ප්‍රවණතාවයක් ලෙස ගෝලීයකරණය හැදින්විය හැකිය. අතීත සමාජවල වෙනස්කම්වල සමස්තයක් තුළින් ගෝලීයකරණය බිහි විය. ලෝකයේ විවෘත බව හා වෙනස්කම්වල සංකීර්ණතාවයක් සේම, තොරතුරු මූලාශ්‍ර, තොරතුරු සබදතා හා මාධ්‍යන්හි ව්‍යාප්තිය තුළින් ගෝලීයකරණය බිහි විය. විද්‍යාව, තාක්ෂණය හා මිනිසා විසින් පර්යේෂණ හරහා ලෝකය අනාවරණය කරන්නට වීම නිසා සියළුම ජාතීන්, ආගම්, කුල හා විවිධ සමාජ පංති එකම ක්‍රියාවලියක කොටස්කරුවෝ ය. ගෝලීයකරණය නිසා ඒ ඒ රටවල, ඒ ඒ ජාතීන් අතර සංස්කෘතික ආධිපත්‍ය බිද වැටී අනන්‍යතාවයන් බිදී ඇත. ගෝලීයකරණයට ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, ආගමික, සදාචාරාත්මක හා පොදුවේ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අන්තර සම්බන්ධතාවය බලපා ඇත. මෙය සිතා මතා සිදු කළ නිර්මාණයකට වඩා සමාජ ක්‍රියාවලියේම ඉදිරිය විකාශනය වීමක් හා විවෘතභාවයේ සංකල්පයකි. ගෝලීයකරණ පරිසරය හා සමාජ ක්‍රමය සදහා තොරතුරු හා ජනමාධ්‍ය පද්ධති තීරණාත්මක බලපෑමක් සිදු කොට ඇත. 
                              ගෝලීයකරණය 20 වන සියවසේ අග භාගයේ ප්‍රචලිත වූ සංකල්පයකි. වචනාර්ථයෙන් විග්‍රහ කිරීමට අපහසු සංකල්පයකි. මිනිසුන්ගේ හා ආයතනික ක්‍රියාවලීන්ගෙන් සමන්විත විධිමත් වූත්, අවිධිමත් වූත් සාධක වල සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. ගෝලීයකරණය ඓතිහාසික විවිධ ක්‍රියාවලීන්ගෙන් බිහි වූවකි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනය, මානව සබදතා, තොරතුරු ක්‍රියාවලිය හා ගමනාගමනය පැවැති තත්ත්වයේ සිට හාත්පසින් වෙනස් විය. ලෝකයේ කුමන ස්ථානයක, කුමන කාර්යය කරමින්, කුමන ලෙසකින්, කුමන හෝ මානව සමූහය වාසය කළත් එක් පාර්ශ්වයක හැසිරීම හා ක්‍රියාකාරීතවය අනෙක් පාර්ශ්ව කෙරෙහි බලපෑම් කරන්නට සමත් විය. එම නිසා 'ගෝලීය ප්‍රජාව' යන නාමය බැදිණි. මෙය ගෝලීයකරණය නැමැති ක්‍රියාවලිය හෝ හදුන්වන නාම අර්ථකථනය බිහිවීමට බලපාන ලදී. 
                            ගෝලීයකරණය යන්නට විවිධ අන්ම් ලබා දී ඇත. ලෝකගතකරණය, පෘථිවිකරණය, විශ්වීයකරණය, ලෝකාවේශය, භූගෝලීයකරණය, ජගත්කරණය හා ලෝකකරණය යන ඒවා ය. ගෝලීයකරණය යන්නට පොදු න්‍යායක් නැත. විවිධ මානවයන්ගෙන් නොහොත් ඒ ඒ පුද්ගලයාට හා ඒ ඒ ක්ෂේත්‍ර වලට විවිධ දෘෂ්ටිකෝණ වලට අනුව විග්‍රහ කළ හැකිය. පැරණි කුල, නායකත්ව පරයා යමින් අද ලෝකය ගනුදෙනු කරන ආකාරය ගෝලීයකරණයයි. මේ නිසාම මානව සමාජය වෙනස් වී ඇත. කාලය විසින් සිදු කළ සමාජ වෙනසකි. නැතහොත් පරිවර්තනයකි. 
                                         20 වන සියවසේ අග භාගයේදී ලොව පුරා ප්‍රචලිත වී සංවාදයට පාත්‍ර වී ජනමාධ්‍ය හරහා පොදු මිනිසුන් අතරට පැමිණි සංකල්පයක් ලෙස හැදින්විය හැකිය. ගෝලීයකරණ සංකල්පය බිහිවීම හෙලා ආර්ථිකය, වෙළෙදපොළ ක්‍රමය හා ජනමාධ්‍යන්හි ව්‍යාප්තිය ප්‍රබල බලපෑමක් සිදු කොට ඇත. එසේම තොරතුරු තාක්ෂණය ප්‍රබල වීම හා ධනවාදී රටවල් ඒ සමග කළ විවිධ ක්‍රියාවන් නිසා ද ලෝකයේ සෑම ක්ෂේත්‍රයක් ම චලනයට බදුන් වීම ද මෙම සංකල්පය ප්‍රචලිත වීමට බලපාන ලදී. මිනිසාගේ දැනුම හා නිර්මාණශීලීත්වය වර්තමානයේ ආර්ථික ක්‍රමය පාලනය වීම හා තොරතුරු පාලනයෙහි යතුර බටහිර ජාතිකයින් සතු වීම නිසා ගෝලීයකරණය බටහිර රටවල්වලින් උපත් ලැබූ බව ඇතැම් විද්වතුන් පිළිගනී. 
                                          ගෝලීයකරණය නිසා ඒ ඒ රටවල් වලටත්, ඒ ඒ සමාජ ක්‍රම වලටත් සංස්කෘතික ආධිපත්‍ය බිදවැටීම හා යම් යම් අනන්‍යතාවයන් බිද වැටීම කරණ කොටගෙන, ගෝලීයකරණයේ හිතකර දෙ මෙන්ම අහිතකර දේ පවතින බව විසංවාදයකි. අධ්‍යතන මිනිසා ජීවත් වන්නේ නව සංකල්ප, නව දැනුම, නව මාධ්‍යය හා බිහිවෙමින් පවතින සංස්කෘතික මානයන් තුළය. ගෝලීයකරණය වූ කලී නව ලෝක සමාජය කෙබදුදැයි විදහා දක්වන අවස්ථාවකි.

No comments:

Post a Comment